අපගේ දැක්ම
ජනතා හිතවාදීව ඔවුන්ගේ යහපත් දිවි පැවැත්මට සහාය වන රාජ්‍ය ආයතනයක් වීම.අපගේ මෙහෙවර
රජයේ ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම සම්බන්ධිකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර සහ සැළසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම අපගේ මෙහෙවර වේ.කුරුණෑගල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන නගරයක් වන නාරම්මල, නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන නගරයද වේ. අතීතයේ පටන් එය දඹදෙණි හත්පත්තුවට අයත් වන අතර, දඹදෙණි උඩුකහ උතුර හා දඹදෙණි උඩුකහ බස්නාහිර කෝරල දෙක එයට අයත් වේ. දඹදෙණි මැතිවරණ කොට්ඨාශය පිහිටා තිබෙන මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වර්ග කිලෝමීටර් 10.944 පමණ වපසරියක් දරයි. ග්‍රාම නිළධාරී වසම් 54 කට බෙදා ඇති මෙම ප්‍රදේශයේ ඇති ග්‍රාමයන් ගණන 144 කි. දළ ජනගහනය 62167 කි. නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, යාබද පන්නල, කුලියාපිටිය නැගෙනහිර, වීරඹුගෙදර, පොල්ගහවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට මැදිව පවතී.
නාරම්මල ඉතිහාසය සලකා බැලීමේදී ශ්‍රි ලංකා ඉතිහාසයේ සංධිස්ථාන කාල වකවානුවක් වන දොලොස් වන සියවසේ මුල් අවධියේ සිදු වූ කාලිංග මාඝ ආක්‍රමණයත් සමග පොලොන්නරු රාජධානියේ බිද වැටීමෙන් ඉක්බිති ක්‍රි.ව. 1232 දී ලංකාවේ තුන්වන රාජධානිය වන දඹදෙණි රාජධානිය තුන්වන විජයබාහු නරපතීන් විසින් දඹදෙණි මාළිගා ගල මස්ථකයෙහි මාලිගයක් ඉදි කරවා දඹදෙණිය මූලික කර ගනිමින් ස්ථාපිත කෙරිණ. එකල එතුමන්ගේ මෙහෙයවීම මත මෙම මාලිගාව පිහිටි ගල පාමුල ඇතුල් නුවරට අයත් වන සේ, අදට ද ඓතිහාසික සිරි විජයසුන්දරාරාමය ඉදි කෙරිණි.
තුන්වන විජයබාහු රජතුමාගේ වසර 4 ක රාජ්‍ය කාලයේ අවෑමෙන් ක්‍රි.ව. 1236 දී එතුමාගේ පුත් වන දෙවන පරාක්‍රමබාහු කුමරු දඹදෙණි රාජධානියේ දෙවන රජු ලෙස අභිෂේක ලබන්නේය. මෙම අවධියේදී සාහිත්‍යධරයෙක් වන දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් සිංහලයේ මහා කාව්‍ය වන කව්සිළුමිණ ජාතියට දායාද කරන්නේය. තවද සිදත් සඟරාව, පූජාවලිය, එළු අත්තනගලු වංශය, සද්ධර්ම රත්නාවලිය දඹදෙණි රාජධානි අවධියේදී බිහි වූ අනෙකුත් අසහාය ග්‍රන්ථයන් වේ. සිය පිය රජතුමාගේ අපේක්ෂාවන් මුදුන්පත් කරමින් තුන් සිංහලය එක්සේසත් කරන පරාක්‍රමබාහු රජතුමා අලංකාර තෙමහල් දළදා මන්දිරයක් ඉදිකරවා බුදුන් වහන්සේගේ දන්ත ධාතුව එම දඹදෙණි දළදා මාලිගාව වෙත වැඩම කරවූ අතර එම වැඩමවීම සිදු මාර්ගය අතරමග පිහිටි අද නාරම්මල නමින් හදුන්වන මෙම ප්‍රදේශයේදී රජතුමා විසින් දළදා වහන්සේට රන් නා මල් පූජා කල බව පැවසේ. එසේ රන් + නා + මල් පූජා කල ප්‍රදේශය පසූ කාලීනව නා + රන් + මල් == නාරම්මල ලෙස ජන වහරට පැමිණ ඇති බව සදහන් වේ. දළදා වහන්සේ දඹදෙණියට වැඩම කරවීමත් සමග උත්කර්ෂවත් දළදා පූජාවන් සිදු කරමින් සිරිවර්ධනපුරයේ සිට සිරි විජය සුන්දරාරාමය වෙත දළදා පෙරහැර මංගල්‍යය පැවැත්වූ අතර අදටද දඹදෙණිය සිරි විජයසුන්දරාරාමය මූලික කරගනිමින් අති උත්කර්ෂවත් අන්දමින් දඹදෙණි දළදා පෙරහැර පැවැත්වේ.
දඹදෙණි රාජධානියේ දීප්තිමත්ම කාල පරිච්ඡේදය වන දෙවන පරාක්‍රමබාහු නිරිදුගේ වසර 34ක රාජ්‍ය පාලන කලය අවසන් කරමින් ක්‍රි.ව. 1270 දී එතුමන් පුත් කුමරු වන හතරවන විජයබාහු කුමරු සිංහාසනානුරූඩ වන අතර ක්‍රි.ව. 1272 දී අභ්‍යන්තර ආරාවුලක් මත මිත්ත සෙනෙවියා අතින් ඝාතනයට ලක්වීමත් සමග එතුමන්ගේ සහෝදරයා වන පළවන බුවනෙකභාහු කුමරු දඹදෙණි රාජධානියේ රජ වන්නේය. බුදු සසුනේ උන්නතිය උදෙසා මහත් වැඩ කොටසක් ඉටු කරනු ලැබූ පළවන බුවනෙකබාහු රජ සමයේදී එනම් 1284 දී ආර්ය චක්‍ර වර්තීගේ ආක්‍රමණයයෙන් දළදා වහන්සේ පැහැර ගැනීමත් සමග දඹදෙනි රාජධානිය නිමාවට පත්විය.
මෙවන් අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන වශයෙන් වී හා පොල් වගාවන් ව්‍යාප්තව පවතී. අදවන විට බෞද්ධ, ඉස්ලාම් හා කතෝලික ආගම් ව්‍යාප්තව පවතින ප්‍රදේශයේ විවිධ වූ මනරම් භූවිෂතා පිහිටීම් දක්නට ඇත.
සේවය කල ප්‍රාදේශීය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| එස්.එම්.ජයතිලක මයා | 1991 | 1996 |
| එම්.ඒ.එස්.මන්ත්‍රීරත්න මයා | 1996 | 1997 |
| එම්.ටී.බී.දසනායක මයා | 1997 | 2001 |
| නිමල් කොටවලගෙදර මයා | 2001 | 2005 |
| ඩබ්.එම්.සී.බණ්ඩාර මයා | 2005 | 2006 |
| එල්.එච්.රම්‍යසිරි මයා | 2006 | 2012 |
| එම්.ඒ.ආර්.සුදර්ශනී මිය | 2012 | 2016 |
| එස්.එම්.පෙත්තාවඩු මිය | 2016 | 2020 |
| එම්.ආර්.එම්.ඉම්රාන් මයා | 2020 | 2020 |
| ඩබ්.පී.සී.එන්.පතිරණ මිය | 2020 | 2020 |
| එම්.ආර්.එම්.ඉම්රාන් මයා | 2023 | මේ දක්වා |














